ඒකාබද්ධ යුද අභ්‍යාසයට ඉන්දීය නෞකා තුනක් ත්‍රි‘මලේ වරායට


 

අමදෝරු අමරජීව

 

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දීය නාවික හමුදාව අතර ආරම්භ වීමට නියමිත  ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකා තුනක්  අද  (7) ත්‍රිකුණාමල වරායට සේන්දු වුහ.

 

SLINEX-2018 යනුවෙන් නම් කර ඇති මෙම යුද අභ්‍යාසය ත්‍රිකුණාමල වරාය කේන්ද්‍ර කරගෙන  නැගෙනහිර මුහුදේ සැප්තැම්බර් 13 වැනිදා දක්වා පැවැත්විමට නියමිතය.

 

මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය සදහා ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා දෙකක් හා හෙලිකොප්ටර් යානාවක් චීනවරායේ පිහිටි  ගුවන් හමුදා ගුවන් පථයට පැමිණ තිබේ.

 

ශ්‍රි ලංකා නාවික හමුදාවේ  සයුර ,සමුදුර, හා සාගර යන නෞකා හා ඉන්දීය නාවික හමුදාවට අයත් කිරිච් , කොරාඩ්ච් හා සුමිත්‍රා යන නෞකා මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයට එක්වේ.

වරාය අදියර , මුහුදු අදියර යන අදියර දෙක යටතේ දින හයක් පුරා පැවැත්වෙන මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයට  ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද ප්‍රථම වරට එක්වේ.

 

හෙලිකොප්ටර් හා සාගර මුර සංචාර, ගුවන් යානා මෙහෙයුම් , අවි පුහුණුව , මුදා ගැනිම්, සාගර යුද උපාය පුහුණුව  ඇතුළු විවිධ යුද  අභ්‍යාස රැසක් මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයට අන්තරගත වෙයි.

 

මෙතෙක් කලක් වසර දෙකකට වරක් පැවැති  මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය  මේ වසරේ සිට වාර්ෂිකව පැවැත්විමට දෙරට එකඟ වී ඇත.