ඒකාබද්ධ විපක්ෂයෙන් කථානායකට ලිපියක්


(ඉෂාන් සංජීව)
පළාත් පාලන සංශෝධන පනතට තමන් එකඟත්වය පළ කළ නමුත් හොර රහසේ වෙනත් සංශෝධන රාශියක් පනතට ඇතුළත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බැවින් ඊට ඉඩ නොදෙන්නැයි ඉල්ලමින් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායකවරයාට අද(23) ලිපියක් ලබා දුන්හ.

‘‘අපි මේ සම්බන්ධයෙන් කතානායකවරයා සමඟ සාකච්ඡා කළා. මෙම පනත ඡන්ද විමසීමකට ලක් නොකරන බව කතානායකවරයා අපිට දැනුම් දුන්නා. නමුත් මෙම පනත හෙට ඡන්ද විමසීමකට ලක් කරන බව සභානායකවරයා දැනුම් දුන්නා. නමුත් තවමත් මන්ත්‍රීවරුන්ට හෝ මැතිවරණ කොමිසමට එම සංශෝධන ඉදිරිපත් කර නැහැ. මේ වනවිට අවුරුදු දෙකයි මාස දෙකක් තිස්සේ මැතිවරණ කල් දමලා. තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට කුමන හෝ මැතිවරණයක් අවශ්‍යයි‘‘ යැයි ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ පළාත් පාලන සංශෝදන පනත පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් අද (23) මැතිවරණ කොමිසමේ සභාපති හමුවීමට පැමිණි අවස්ථාවේදී ය.