කටුපොත වැව වාන් දමයි



          
හිරාන්  ප්‍රියංකර ජයසිංහ    
             
 
වසර 10  කට ආසන්න කාලයකින් පසු ආරච්චිකට්ටුව විජය කටුපොත වැව අධික ජල කදක් මුදා හරිමින් වාන් දැමීම අද (22) සිට ආරම්භ වී තිබු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එච් .චිත්‍රානන්ද මහතා පවසයි.


මෙම වැව පුත්තලම දිස්ත්‍රික්කයේ විශාල වපසරියකින් යුතු වැවකි. ඉකුත් 20 වැනි දා සිට ආඩිගම සහ රස්නායක ප්‍රදේශ වලට පැවති මහ වැසි සමඟ ගලා ආ දැවැන්ත ජල කද  විජය කටුපත වැව පිරි යාම සිදුව තිබිණි. 


අඩි 200 කට දිගින් යුත් වානකින් යුත් විජය කටුපොත වැවේ ඊයේ (21) වන විට අඩි හයකට ආසන්න දැවැන්ත ජල කදක් ගලා යාම සිදුව  තිබු නමුත් සවස් වන විට එය අඩි 4 කට පහකට අඩුවී තිබු බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 


විජය කටුපත වැවට ඉහළ ප්‍රදේශ වලින් ගලා ආ ජලයත් සමඟ ඉහළ ප්‍රදේශ වල සත්ව ගොවිපල වල ගාල් කර තිබු  ගවයින්, එළුවන් සහ ඌරන්  100 ගණනක් ගසා ගෙන ආ බවත් එයින් වැඩි සතුන් ප්‍රමාණයක් මරණයට පත්ව තිබු බවත් එම සතුන් වාන් ජලයට එක් කර පහළ ප්‍රදේශ වලට ගසා ගෙන යාමට තරුණ පිරිස් කටයුතු කර තිබු බව ජනතාව පවසයි.


කටුපත වැවේ වාන් ජලය හේතුවෙන් පහළ නිම්නයේ ගම්මානවල නිවාස 20 කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටව තිබු අතර එම පිරිස් ආරක්ෂිතව විජය කටුපොත විහාරස්ථානයට හා දේවස්ථානයට යොමු කර රඳවා තිබු අතර ඔවුන් සඳහා සහන කටයුතු සලසා දී තිබේ.