කතරගම පුදබිමේදී හමුදා ධජයන්ට සෙත් ප්‍රාර්ථනා කෙරේ


යුද හමුදාවේ 69 වැනි සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අබියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී යුද හමුදා ධජයන්ට සෙත් පතන ලදි.


යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සෙත් පැතීමේ උත්සවය සඳහා  මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන,  මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්,  මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරි රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

යුද්ධ හමුදා ඒකකයන්ට අයත් ධජයන් රැගෙන යුද්ධ හමුදා සාමාජිකයින් හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ කතරගම කිරිවෙහෙර තෙවරක් පැදකුණු කළ අතර, අනතුරුව හමුදා ධජයන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද පැතීය. ඉන් අනතුරුව, විශේෂ කප්රුක් පූජාව සඳහා සහභාගී වූ පිරිස විසින් පොල්තෙල් පහන් 1500 ක් දල්වමින් ගිලන්පස පුජාවක්ද පැවැත්විණි.

ඉන් අනතුරුව කිරිවෙහෙර රජමහා විහාරයේ සංවර්ධන කටයුතු සඳහා මූල්‍යමය පරිත්‍යාගයක්ද, කතරගම අෂ්ඨඵල බෝධි භාරකාර කිරිවෙහෙර රජමහා විහාරයේ උපප්‍රධාන විහාරාධිකාරි පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර ස්වාමින් වහන්සේ වෙත පිළිගන්වන ලදි.  යුද්ධ හමුදා ධජයන් දේවාල කුටියේ තැන්පත් කිරීමෙන් පසු දේවාලයේ තේවාව ආරම්භ කරන ලද අතර කතරගම දේවාලයේ සංවර්ධන කටයුතු සඳහා තවත් මුදල් පරිත්‍යාගයක්ද යුද හමුදාපතිවරයා විසින් බස්නායක නිලමේතුමන් වෙත පිරිනමනු ලැබිණ.