කරුකුපනේ ගම්මානය මුහුදට බිළිවීමේ අවදානමක්



 
(ජුඩ් සමන්ත)
 

මුහුද රළු වීම හේතුවෙන් තම ගම්මානය දිනෙන් දින මුහුදට බිළි වෙමින් පවතින බව ආරච්චිකට්ටුව - කරුකුපනේ ගම්මානයේ ධීවරයෝ පවසති.

හැමිල්ටන් ඇළට සහ මහ මුහුදට වටවී ඇති කරුකුපනේ ගම්මානයේ පදිංචි සියල්ලෝ ධීවර කර්මාන්තයෙන් ජිවත් වෙති.

කරුකුපනේ ගම්මානයේ ස්ථාන කීපයක් මුහුදු ඛාදනයට ගොදුරු වන්නට පටන් ගෙන තිබේ. ඊට පිළියමක් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැවැන්ත කළු ගල් වැටි කීපයක් වෙරළ තීරය තුළ යොදා ඇත.

නමුත් මෙවර මුහුද ඛාදනය වීම සිදුවී ඇත්තේ එම කළු ගල් වැටි යෙදා ඇති ස්ථාන වලින්ම වීම විශේෂත්වයකි.

දැනට කළු ගල් වැටි යොදා ඇති ස්ථාන වලින් මුහුද ඇතුළට ඉදිරියට ගල් වැටි යෙදීමක් සිදු නොකළහොත් වැඩි දිනක් යාමට පෙර තම ගම්මානයේ විශාල ප්‍රමාණයක් මුහුදට ගසා ගෙන යා හැකි බව ඔවුහු පවසති.

මෙම ස්ථාන වලින් අඩි 10 – 15 ක් පමණ ප්‍රමාණයක් මේ වන විට මුහුදට සේදී ගොස් තිබේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවත්, පිළියම් යෙදීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරයෙක් පැවසීය.