කලකට පසුව යාපනයේ තිරික්කල් තරගාවලියක්


රොමේෂ් මධුෂංඛ
 
පැරණි සම්ප්‍රදායන්ට ජීවයක් දෙමින් අනාදිමත් කාලයක සිට පැවත එන ගවයින් බැදී තිරික්කල් රේස් මේ දිනවල යාපනය දිස්ත්‍රීක්කයේදී දැක ගත හැකිව තිබේ.


යාපනය කෝපායි ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කර ඇති මෙම තිරික්කල් රේස් තරගාවලිය සඳහා යාපනයේ ඉතා ජවසම්පන්නම ගවයින් සහභාගී කරවීමට ගවයින් හිමිකරුවන් විසින් පියවර ගෙන තිබිණි.


මේ අනුව යාපනයේ සිටි ජවසම්පන්න මෙන්ම අත්දැකීම් ඇති ගවයින් 41 දෙනෙකු මෙම තිරික්කල් රේස් තරගය සඳහා සහභාගී වී සිටි අතර එය දැක බලා ගැනීමටද යාපනයේ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.


පැවති තරගයන්ගේන් ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග හා සියලු ගවයින් සඳහා ආහාරපාන ලබා දීමට ද කෝපායි ප්‍රාදේශීය සභාවේ සභාපති නිරෝෂ් ත්‍යාගරාසා මහතා ඇතුළු පිරිස සංවිධානය කර තිබිණි.


පැරණි තිරික්කල් රේස් නැවත කරලියට ගෙන ඒම සම්බන්ධයෙන් කෝපායි ප්‍රාදේශීය සභාව මගින් පෙන්වා දෙන්නේ පැරණි සම්ප්‍රදායන් වර්තමානය වන විට අමතක වී ඇති හෙයින් එම අත්දැකීම් වර්තමාන ජනතාවටද දැකබලා ගැනීමට අවස්ථාවක උදා කළ බවයි.