කලාකරුවන්ගේ දිවියේ සැඳෑ සමය එළිය කරන වැඩපිළිවෙලක්


බොහෝ කලාකරුවන්ගේ ජීවිතයේ සන්ධ්‍යා සමයේ පවතින සෝචනීය තත්ත්වයට පිළියම් යෙදීම සදහා ගන්නා වූ වැඩපිළිවෙළ මෙම වසරේ මැද භාගයේ සිට ක්‍රියාත්මක වෙනු ඇතැයි ද තම විශ්වාසය කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැසීය.  2017 වසරේ ජනාධිපති සිනමා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වෙමින් ජනපතිවරයා එසේ කීය.
2015 වසරේ තිරගත වූ චිත්‍රපට අතරෙන් ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය හොදම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර එහි රගපෑ ශ්‍යාම් ප්‍රනාන්දු හොදම නඑවා ලෙස ද අංජලී පතෙල් හොදම නිළිය ලෙස ද ජනාධිපති  අතින් සම්මානයෙන් පිදුම් ලැබූහ.
සිනමා කර්මාන්තයේ උන්නතිය සහ කලාකරුවන් දිරිගැන්වීමේ අරමුණින් පැවති මෙම සම්මාන උළෙලේ දී මූලික සම්මාන 21 ක් පුරෝගාමී මෙහෙවර බුහුමන් සම්මාන 09ක් ස්වර්ණ සිංහ සම්මාන 06 ක් විශේෂ කුසලතා සම්මාන 07 ක් සහ ජූරියේ විශේෂ සම්මාන 01 ක් ද පිරිනැමිණි.
ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ රටේ ජාතික සමගිය සහ සංහිදියාව ඇතිකිරීම වෙනුවෙන් කලාකරුවන්ට සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකි බවයි. එමෙන්ම සිනමා කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද පැවැසීය .