කැලණි විහාරය බැතිමතුන්ගෙන් පිරී යයි


සම්බුද්ධාගමනයෙන් මෙ පින්බිම දහම් දිවයිනක් වීම, තුන් බෑ ජටිලයන් දහම් මඟට යොමු කිරිම, සුමන සමන් දෙවිඳුන්ට කේශධාතු පිරිනැමීම, යකුත් පලවා හැරීම යන උතුම් වූ දහම් කාරණා  මුල් වූ දුරුතු පුන් පොහෝදින  අදයි.
 
ඒ නිමිත්තෙන්  දිවයින පුරා   බෞද්ධ බැතිමත්හූ  ආගමික සිද්ධස්ථානවලට විත් පින්කම්හි නියැලෙති. කැලණිය  රජමහා විහාරස්ථානයට පැමිණි  සැදැහැවත් පිරිස් ආගමික වතාවත්වල නිරතවූ අයුරු ඡායාරූපලින් දැක්වෙයි.


ඡායාරූප  - චතුර එස් .කොඩිකාර 


අටමස්ථානයේ ආගමික වැඩසටහන් රැසක්

(උපුල් තම්මිට)

දුරුතු පුන්පොහෝ දිනය නිමිත්තෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථාන වලදී අද (10) ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම ආගමික වැඩසටහන් සංවිධානය කර තිබිණි.

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස උවැසි උවැසියන්  අතිවිශාල පිරිසක් පෙහෙවස් සමාදන් වී සිටි අතර නව වසරේ ප්‍රථම පුන්පොහොය නිමිත්තෙන් ආශීර්වාද ලබා ගැනීම සඳහාද බැතිමතුන් විශාල පිරිසක් පැමිණ සිටියහ.

ජයශ්‍රී මහා බෝධීන්වහන්සේ වෙත අද අලුයම් කාලයේදී පැවති විශේෂ පූජාවෙන් අනතුරුව පෙහෙවස් සමාදන්වීම සඳහා පැමිණ සිටි උවැසි උවැසියන් සිල්සමාදන් කිරීමෙන් අනතුරුව ආගමික වැඩසටහන් ආරම්භ කෙරුණු අතර ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ කේන්ද්‍රෙකර රුවන්වැලිසෑය ඇතුලු අටමස්ථානය පුරාවට දාන ශීල භාවනා ආගමික වැඩසටහන් රැසක් අද දවස පුරාවට සංවිධානය කර තිබේ.