කුකුල් මස් වෙනුවට විකිණෙන මොරගහකන්දේ මොනර මස්


(ඉන්දික අරුණ කුමාර)
 
මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයේ ජීවත්වන මොනරුන් මරා විවිධ හෝටල්වලට අලෙවි කරන සංවිධානාත්මක කල්ලියක් සිටින බව මොරගහකන්ද ආශ්‍රිත ගම්මානවල ජනතාව කියාසිටිති.
 
වගා බිම්වලට බරපතල හානි සිදුකරමින් ගැවසෙන මොනරුන් ගිනි අවි හා උගුල් උපයෝගි කර ගනිමින් මරා මස් පිණිස සකසා මාතලේ දිස්ත්‍රික්කයේ විවිධ හෝටල්වලට අලෙවි කරන බව ද සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය කරන පිරිස් කියාසිටිති.
 
ඇලහැර, හඹරන මෙන්ම මාතලේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක ආපනශාලාවල කුකුල් මස් වෙනුවට අලවිකරනු ලබන මොනර මස් පිළිබදව පාරිභෝගිකයින් නොදන්නා බවත්, මෙම ජාවාරම කලක් තිස්සේ සිදුවන බවත් ඔවුහු සඳහන් කරති.
 
රාත්‍රියේ මෙන්ම දහවල් කාලයේ ද ගිනි අවි අතදරාගත් පුද්ගලයින් මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයේ සැරිසරන බවත්, වන අලි හා වෙනත් වන සතුන් හේතුවෙන් මෙම ප්‍රදේශවලට ආරක්ෂක අංශ හෝ වෙනත් වගකිවයුතු පුද්ගලයින්ට ළගාවීමට ඇති බාධාවන් ප්‍රයෝජනයට ගනිමින් මෙම මොනර ජාවාරම කරන බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියා සිටිති.
 
මේ සම්බන්ධයෙන් අදාළ අංශවල කඩිනම් අවධානය යොමු විය යුතු බව ද ඔවුහු අවධාරණය කරති.