කුමන ජාතික වනෝද්‍යානය අද සිට විවෘතයි


(වසන්ත චන්ද්‍රපාල සහ කුමාර සී ලියනආරච්චි)
 
කොවිඩ් 19  වසංගතය සමග වසා දමන ලද කුමන ජාතික වන උද්‍යානය අද(22) සිට දේශීය සහ විදේශීය සංචාරකයන්ට යළි විවෘත කිරීමට වනජීවි දෙපාර්මේන්තුව කටයුතු කර තිබේ.
 
පෙරවරු 6.00 පමණ වනවිට උද්‍යානයේ පිවිසුම් දොරටුව විවෘත කෙරිණි.
 
වන උද්‍යානයට ඇතුළු වෙන ස්ථානයේදි නිරෝදායන නීතිවලට යටත්ව පැමිණෙන ජනතාවගේ උෂ්ණත්වය බැලීම, අත් සේදීම සහ මුඛ ආවරණ පැළඳීම නිසි අයුරින් කර ඇතැදැයි එහි නිලධාරීහු සොයා බැලූහ.
 
නැගෙනහිර වනජීවි සහකාර අධ්‍යක්ෂක ජී.යු.සාරංග මහතා උද්‍යානය  යළි විවෘත කිරීමේ අවස්ථාවට පැමිණ මෙසේ කීය.
 
‘කොවිඩ් උවදුර නිසා වසා දමා තිබුණු කුමන ජාතික වන උද්‍යානය අද දිනයේදි අපි විවෘත කිරීමට කටයුතු කළා. රජය ලබාදුන් නිරෝධායන නීතිවලට අනුකූලව තමයි මෙම වන උද්‍යානය ඇතුළට යන්න පුලුවන්. ඒක නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙම වනඋද්‍යානය තුළට පැමිණෙන විට සෞඛ්‍ය දෙපාර්මේන්තුව දී ඇති උපදෙස් අනුව කටයුතු කරන්න කියලා’ යැයි ඔහු පැවසීය.
 
වන උද්‍යානය ආරම්භයේ පැමින දේශිය සංචාරකයෙක් වන වෛද්‍ය ආසිරි දිසානායක මහතා මෙසේ කීය.
 
‘කොවිඩ් තත්වය නිසා වසා දමා තිබුණු කුමන ජාතික වන උද්‍යානය අද ආරම්භ කිරීම පිළිබඳව ඇත්තටම අපි රජයට ස්තුතිවන්ත වෙනවා. මාස තුනකින් පසුව පළමුව වන උදයානයට යෑමට පැමිණිලා තියෙන්නේ අපි ඒ ගැනත් හරිම සතුටුයි. ඒකාකාරි ජීවිතයෙන් මිදෙන්න මේ සංචාරය ඉතා වැදගත් කියල තමයි අපි කියන්නේ. මම වෛද්‍යවරයෙක් හැටියට  පැමිණෙන සංචාරකයින් ගෙන් ඉල්ලා සිටිනවා රජය දි ඇති උපදෙස් අනුගමනය කරමින් මෙම කුමන ජාතික වන උද්‍යානයට පැමිණෙන ලෙස’ යැයි කීය.