කුරිඤ්ඤංකර්නි පාලමේ වැඩ අවසන් වනතුරු නාවික හමුදාවෙන් මගී යාත්‍රා සේවයක්


 

(යොහාන් භාසුර)

කින්නියාහි කුරිඤ්ඤංකර්නි  පාලමේ ඉදිකිරීම් සම්පූර්ණ කරන තෙක් ජනතාවට ආරක්ෂිතව කළපු ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්ෂිත මගී යාත්‍රෘව සේවය ආරම්භ කළේය.

කුරිඤ්ඤංකර්නි කළපුවේදී පසුගියදා පාරුවක් වෙරළිමෙන් ජීවිත හයක් අහිමිවූ වීමෙන් පසුව කළපු ප්‍රදේශය ඔස්සේ එදිනෙදා ගමනාගමනයේදී ප්‍රදේශවාසීන් සහ පාසල් ළමුන්ට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා සැළකිල්ලට ගෙන පාලමේ ඉදිකිරීම් අවසන් වන තෙක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ මැදිහත්වීමෙන් මෙම ආරක්‍ෂිත මඟී යාත්‍රා සේවාව ආරම්භ කළේය.  

නැගෙනහිර නාවික විධානයේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක එකවර මඟීන් 25 දෙනෙකේ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට හැකි මෙම මඟී යාත්‍රාව පෙරවරු 7.00 සිට 8.00 ට අතර සහ මධ්‍යහන 12.00 සිට පස්වරු 2.00 අතර යන කාලය තුළ ක්‍රියාත්මක වේ.

එම ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂිතව මඟී යාත්‍රාවට ගොඩවීම සඳහා තාවකාලික ජැටියක් ස්ථාපනය කිරීමට නාවික හමුදාව පියවර ගත්තේය.