කුලීවැඩ නොමැති කමින් නෙළුම් අල හාරා දවස සරි කරගන්නා ගැමියෝ


 ( කාංචන කුමාර ආරියදාස)


පවතින  වැසි රහිත  කාලගුණ තත්ත්වය නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ජනතාව උග්‍ර ජල සහ ආහාර අර්බුදයකට මුහුණ පා සිටිති.


 දඹුල්ල සහ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගම්මාන රැසක ජනතාව මෙම තත්ත්වයට මුහුණ පා සිටිති.


දඹුල්ල පහළවැව ගම්මානයේ රැකියාව ලෙස කුලී වැඩ කරන බොහෝ දෙනෙකුට මෙවර කුලී වැඩක් නොමැති වීම සහ අස්වැන්න නෙළීමේ කටයුතු සඳහා යන්ත්‍ර  සූත්‍ර යොදා ගැනීම හේතුවෙන් මොවුහු දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. ඒ නිසා සිඳීගිය  පහළවැවේ නෙළුම් අල කිලෝ  5 ක්  6 ක් අතර ප්‍රමාණයක් දිනකට හාරා දවසේ ජීවන වියදම සොයා ගන්නා බව ඔවුහු පවසති.


පහළවැව ප්‍රදේශයේ නෙළුම් අල හාරමින් සිටි මවක කියා සිටියේ අවම වශයෙන් තමන්ට සමෘද්ධි සහනාධාරය හෝ නොමැති බවය. දිනකට එක වේලක් සරිකරගන්නා මොවුහු  දැඩි ආහාර අර්බුදයකට මුහුණ පා සිටිති.


ඇතැම් පිරිස් සිඳීගිය වැව් වල ඇති වලවල් වල සිටින මසුන් අල්ලති. මේ දිනවල වැසි රහිත කාලගුණික තත්ත්වය නිසා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක් ද පානීය ජල අර්බුදයකට ද මුහුණ පා සිටිති.  මෙම තත්ත්වය පිළිබඳව මාතලේ දිස්ත්‍රික්කයේ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු යැයි ඔවුහු පවසති.