කොකේන් ටොන් එකක් ජනපති - අගමැති ඉදිරියේ විනාශ කෙරේ


(ඉන්දිකා රාමනායක/ ඡායාරූප - ඉෂාන් සංජීව)
ශ්‍රී ලංකාවේදී මෙතෙක් සොයා ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන ‘කොකේන්’ මත්ද්‍රව්‍ය ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් ඉදිරියේ අද(15) විනාශ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් කටයුතු කරනු ලැබීය.

අධිකරණ නියෝග මත ආරක්‍ෂිත ස්ථානයක ගබඩා කොට තිබූ මෙම කොකේන් තොගය එහි සිට පුත්තලම ප්‍රදේශයට රැගෙන ගොස් දැඩි තාපයකින් යුත් ආරක්‍ෂිත ගිනි උඳුනක දමා පුළුස්සා විනාශ කිරීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රසිද්ධියේ විනාශ කළ ප්‍රථම වතාව මෙය බව කියැවේ.

ඉක්වදෝරයේ සිට බෙල්ජියම හා ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවේ ‘මුන්රා’ වරයාට යන ‘එම්.එස්.සී. පැබිලෝ’ නෞකාවේ කන්ටේනරයක් තුළ මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.එබ්ලිව්.කේ. සිල්වා මහතාට ලැබුණු තොරතුරකට අනුව 2016 දෙසැම්බර් මස 09 වැනිදා කොළඹ වරාය තුළ රේගු නිලධාරීන් සමඟ එක්ව කළ  මෙහෙයුමකදී මෙම කොකේන් තොගය අත්අඩංගුවට ගනු ලැබිණි.