කොරෝනා නකල්ස් වනාන්තරය වෙනස් කරයි


 

(ශාන්ත චන්ද්‍රසිරි)

කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානම හේතුවෙන් මසකට අධික කාලයක් රට තුල පැවැති දැඩි නිසොල්මන් තත්ත්වය ලෝක උරුම නකල්ස් වනාන්තර පද්ධතිය දැඩි වෙනස්කම් රැසකට භාජනය කර ඇතැයි නකල්ස් අපි සංවිධානයේ පරිසරවේදී සමින්ද විදානගේ මහතා පවසයි.

දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසකගෙන් හා අධික රථ වාහන ප්‍රමාණයකින් දිනපතා පිරී පැවැති නකල්ස් වනාන්තර පද්ධතිය හා ඒ අවට ප්‍රදේශයන් මසකට පමණ අධික කාලයක් කිසිඳු ශබ්ද හා විෂ දුමෙන් මෙන්ම පරිසර හානි විවිධ මිනිස් ක්‍රියාකාරකම්වලින් තොරව පැවැතීම හේතුවෙන් මෙම පරිසර හිතකාමී වෙනස්කම් සිදුව ඇති බවද ඒ මහතා පැවැසීය.

නකල්ස් වනාන්තර පද්ධතිය පිහිටි අවට ගම්මාන මෙන්ම දුම්බර මිටියාවත ඇතුළු අනෙකුත් අවශේෂ ප්‍රදේශවල පරිසර පද්ධතිය මේ දිනවල වෙනස්කම් රැසකට භාජනය වී ඇති බවත්, වෙනදට වඩා දැඩි ශීතලක් මෙන්ම සුන්දර පරිසර වටපිටාවක් නිර්මාණය වී ඇති බවද ඒ මහතා කීය.

නකල්ස් පරිසර පද්ධතිය තුල මෙන්ම අවට ගම්මාන ආශ්‍රිතව විවිධ කුරුල්ලන් හා අනෙකුත් සතුන් නිදහසේ පරිසරය විදිමින් ඔවුන්ට රිසි සේ ගැවසෙමින් කාලය ගත කරන අයුරුද දැක ගන්නට ඇතැයි ඒ මහතා පැවැසීය.

මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් පරිසර පද්ධතීන්වලට කෙතරම් දුරට බලපෑම් එල්ල කර ඇති වගට වර්තමානයේ වනාන්තර පද්ධති ලක්ව ඇති දැඩි වෙනස්කම් වලින් මනාව පෙනෙන බවත්, පරිසරය රැකුනොත් මිනිසා රැකෙන බවට කදිම පිලිතුරක් මෙම පරිසරය වෙනස්කම්වලින් ජනතාවට පෙන්නුම් කරන බවද ඒ මහතා කීය.

නකල්ස් ලෝක උරුම වනාන්තර පද්ධතියේ හා ඒ අවට ප්‍රදේශයන්ගේ දැනට නිර්මාණය වී තිබෙන පරිසර හිතකාමී මෙම දැඩි වෙනස්කම් මුළු රටටම බලපාන කරුණක් බවත්, වර්තමානයේ රට තුල නිර්මාණය වී ඇති මෙකී තත්ත්වය සෙසු වනාන්තර පද්ධතීන්ද වෙනස්කම්වලට භාජනය කරනු ඇතැයි පරිසරවේදී සමින්ද විදානගේ මහතා වැඩිදුරටත් පැවැසීය.