කොරෝනාවෙන් රට බේරාගන්න දිවුලපිටියේ ගම්මඩුවක්


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොරෝනා වසංගතයෙන් ගමත් රටත් බේරා දෙන ලෙසට ඉල්ලමින් දේව කන්නලව්වක් පවත්වා සෙත් පැතීමේ ගම්මඩු ශාන්ති කර්මයක් ඊයේ රැය පහන්වනතුරු දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි.
 
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මිය ඇතුලු කාර්යාලීය නිලධාරීහු මෙම ශාන්ති කර්මයේ කටයුතු සංවිධාන කළහ.කැලණිය විශ්ව විද්‍යාලයේ නර්තන අංශයේ බාහිර කථිකාචාර්ය සරත් සුමනරාජා මහතාගේ මෙහෙයවීම යටතේ නර්තන ශීල්පීහු මෙම ශාන්ති කර්මය පැවැත්වීමට එක්ව සිටියහ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි. 
 
කොරෝනා දෙවැනි රැල්ල දිවුලපිටිය කේන්ද්‍ර කරගෙන ආරම්භවීමෙන් පසු ඇතිවූ දැඩි පීඩනකාරි තත්ත්වය මත ජනතාව ඉන් නිදහස් කර ගැනීම අරමුණු කරගිනිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ කප් සිටුවනු ලැබූ අතර එහි තවත් පියවරක් අනුව මෙම ශාන්තිකර්මය පවත්වා රටට දැයට සෙත් පැතීම සිදුවිය. මෙම කටයුතු ආරම්භයේදී ආගමික වතාවත් පවත්වනු ලැබුයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සංයෝජක කලුඅග්ගල සරණසිරි හිමියන් විසිනි. ඉන්පසු අද අලුයම කිරි අම්මාවරුන් උදෙසා දානමය පිංකමක් පවත්වනු ලැබිණි.
 
ගම්පහ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අයේෂ් පෙරේරා, දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ලෙපාලිස් පරීක්ෂක යූ.පී.එස් ප්‍රියන්ත,  දිවුලපිටිය සංස්කෘතික බල මණ්ඩලයේ සභාපති දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දික රාජපක්ෂ මහතා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.