ගමට යන්න පාලමක් නැතිව ගැමියෝ අපහසුතාවයට


( නිශාන්ත කුමාර )
 
ලොග්ගල්ලා ඔයේ කැන්දලන්ද මංකඩ හරහා එගොඩ මෙගොඩවීමට පාලමක් නොමැතිවීම හේතුවෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගොඩයාගම කැන්දලන්ද ,කොමාරීක, කණූගොල්ල, මැදලන්ද, ඇතුලු ගම්මාන රැසක පවුල් දහසක් පමණ විවිධ ප්‍රවාහන දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති.

 
මෙම ස්ථානයෙන් එගොඩ මෙගොඩ වීම සදහා ඉදිකර තිබූ   අත්වැල් පාලම ලොග්ගල්ලා ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන යාම මෙම ගැටලුවට හේතුවී ඇතැයිද ජනතාව පවසති.
 
පාලම කැඩී බිදී ගොස් වසර දහයකටත් වැඩි කලක් ගතව ඇතත් එය ඉදි කරදීමට කිසිවෙකුත් කටයුතු නොකිරීම නිසා තමුන්ට කරවටක් දියේ ගිලෙමින් ඔය හරහා එහා මෙහා යාමට සිදුව ඇතැයිද ඔවුහු කියති.
  
 පසුගිය කාලයේදී මෙලෙස  ඔය හරහා අනාරක්ෂිත ලෙස එගොඩ මෙගොඩ වූ කීපදෙනෙකුම    මෙහි ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයිද සඳහන් කරති.
 
මෙම ගම්මානවල ජනතාවට ලොග්ගල්ලා ඔයෙන් එගොඩ මෙගොඩ වීමට වෙනත් විකල්ප මාර්ගයක්ද නොමැති අතර ගොවිතැන් කටයුතු ඇතුලු දෛනික කටයුතු සදහා අනිවාර්යයෙන්ම ඔවුන්ට මෙම අනාරක්ෂිත තොටුපොළ උදේ සවස තරණය කරන්නට සිදුව  ඇත.
 
ඔවුන් අනාරක්ෂාකාරී ලෙස  පාලමක් නොමැති ගගෙන් එගොඩ මෙගොඩවන අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.