ගමම හඬවා ප්‍රියන්තගේ නිසල සිරුර උපන් ගමට


(විමුක්ති එස්.රුද්‍රිගු)

පාකිස්තානයේ සියල්කොට්හි දී අන්තවාදීන් පිරිසකගේ පහරකෑමට ලක්ව ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ සිරුර අද අලුයම 3.00 පමණ පවුලේ ඥාතින්ගේ විලාප මැද  ඔහුගේ නිවෙසට රැගෙන ආවේය.

නොසිතූ මොහොතක ආදරනීය බිරිය සහ දරුවන් හැර ගිය ප්‍රියන්තගේ දේහය නිවෙසට රැගෙන එන විට මුළු පරිසරයම ශෝකයෙන් ඇලලී ගියේය.

පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කෝ ඉන්ඩස්ට්රීස් නමැති කර්මාන්ත ශාලාවේ සාමාන්‍යධිකාරීවරයකු ලෙස සේවය කළ  ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඉකුත් සිකුරාදා ඝාතනයට ලක් විය.

සහාසිකයන් ඝාතනය කර ප්‍රියන්තගේ සිරුරට ඔවුන් ගිනි තැබීම නිසා සිරුරේ කොටස් පමණක් සීල් තබන ලද දෙනක තැන්පත් කර නිවෙසට රැගෙන ආවේය.

පාකිස්තානයේ ලාහෝර් සිට ඊයේ සවස 5.10ට පමණ මෙරටට රැගෙන ආ ප්‍රියන්ත කුමාරගේ සිරුර මීගමු රෝහලේ දී මීගමුව අධිකරණ විශේෂඥ වෛද්‍ය ඉලංගරත්න සහ කුරුණෑගල අධිකරණ වෛද්‍ය අජිත් ජයසිංහ යන මහත්වරු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළහ.