ගල්විහාර පූජා භූමියේ සැරිසරන සතුන්ට පොලිසියෙන් ආහාර



 (නිමල් ජයරත්න)
 
පොළොන්නරුව ඓතිහාසික ගල්විහාර පූජා භූමියේ සැරි සරන රිලවුන්, මුවන් සහ සුනඛයින් ඇතුලූ වන සතුන්ට අවශ්‍ය ආහාර සහ ජලය ලබාදීමට පොළොන්නරුව පොලිසියේ නිලධාරීහු අද (07) කටයුතු කළහ.
 
පොළොන්නරුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ජි.එස්. සංජීව මහතාගේ සහභාගිත්වයෙන් මෙම කටයුත්ත සිදුකෙරිණි.
 
ගල්විහාර භාරකාර කන්දකැටියේ අත්තිදස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකළ මෙම පිංකම සඳහා පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ සහ ගල්විහාර පොලිස් මුරපොලේ පොලිස් නිලධාරින්ගේ සහය ලැබිණි.
 
රටේ පවතින තත්ත්වය මත ගල්විහාර පුජාභූමිය නැරඹීමට වන්දනා නඩ නොපැමිණීම හේතුවෙන් පුජාභූමියේ සැරිසරන වන සතුන් විශාල සංඛ්‍යාවක් ආහාර හිඟයකට සහ  පානිය ජල අර්බුදයකටද මුහුණ පා සිටිති.
 
පොළොන්නරුව පොලිසියේ සම්පත් උපයෝගි කරගනිමින් මෙම කටයුත්ත සිදුකළ අතර ජල බවුසර් මගින් ජලය ගෙනවිත් ගල් විහාර පූජා භූමියේ ස්ථාන 40 ක් ස්ථාපිත කර සතුන්ට අවශ්‍ය ජලය දිනපතා ලබාදීමට කටයුතු කරන බව පොළොන්නරුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.