ගස් නැග එගොඩ මෙගොඩ යන දිඹුල්දෙන වැසියෝ


(ප්‍රසන්න පත්මසිරි)

බිබිල මැතිවරණ කොට්ඨාසයේ මැදගම දිඹුල්දෙන ගමේ ගැමියන් දහමල් ඔයේ ගස් උඩ අතු අතර දැව කොටන් දමා සකසා ගෙන තිබෙන මාර්ගයක් ඔස්සේ වසර 5 ක් පුරා එගොඩ මෙගොඩ යන බව ඔවුහු පවසති.

මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දිඹුල්දෙන ගමේ පාරම්පරිකව හේන් වගා කරමින් පදිංචිව සිටින පවුල් 48ක ගැමියන් මෙම අනාරක්ෂිත දැව පාලම හරහා එගොඩ මෙගොඩ යති.

ඔය දෙපැත්තේ අඩි 60ක් උසැති කුඹුක් හා අක්ටික්කා ගස් අතු අතර පිටපලු ලෑලි කළවැල්,මදු වැල් හා කොහු ලණු වලින් බැද මෙම පාලම ඉදිකර තිබේ.

කුඹුක් හා අක්ටික්කා ගස් යොදාගෙන  අඩි 70ක පමණ දිගක් පුරා පාලම ඉදිකර ඇත.

දිඹුල්දෙන ගමේ පාසල් දරුවන් 15 දෙනෙකු සහ ගැමියන් 100 ක් පමණ දෙනා මෙම පාලම භාවිතා කරති.

දහමල් ඔයේ වැලි කැනීම හේතුවෙන් දිනෙන් දින ගැඹුරු වළවල් බිහිවන ඔය මතින් ගමන් කිරිමට සතෙකුට පවා නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි ගැමියෝ කියති.

මේ සම්බන්ධයෙන් මැදගම ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් පියදිගම මහතාගෙන් විමසු විට මෙසේ පැවසීය.

‘කතාව ඇත්ත. නමුත් මේ ගමේ ජනතාවට කිලෝමීටර් තුන හතරක දුරකින් එගොඩ වෙන්න පාලමක් තියෙනවා. ජනතාවට ළග නිසයි මෙතනින් එන්නේ. කොහොම හරි අපි මේ අයට පාලමක් හදලා දෙන්න ඉක්මණටම කටයුතු කරනවා. ලොකුවට පාලම් හැදුවොත් එගොඩ තියෙන වනාන්තරය විනාශ වෙන්නපුළුවන් ඒ නිසා ජනතාවට අවශ්‍ය පාලම අපි රජයෙන් හදලා දෙනවා’ යැයිද කීය.