ගාලු කොටුවෙන් පාසල ඉවත් කරනවාට විරෝධය


(අමල් වික්‍රමරත්න)
 
ගාල්ල කොටුවේ සියලු ශාන්තුවරයන්ගේ පාසල එම ස්ථානයෙන් ඉවත්කිරීමට විරෝධය පළකරමින් අද (01) ගාලු නගරය වටා සාමකාමී විරෝධතා පාගමනක් පැවැත්වූ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ඇතුළු පිරිස ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටි.කොඩිකාර මහතා හමුවී සන්දේශයක් බාරදීමට ගියද එය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
සංදේශය භාරදීමට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට එක්වූ පිරිස කාර්යාලය ඉදිරිපිට ගාලු කොළඹ මහා මාර්ගය අවහිර කරමින් බිම වාඩිවී උද්ඝෝෂණයක නිරත වූහ.
මේ හේතුවෙන් ගාලු - කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා එල්ල විය.
ලෝක උරුමයක් වන ගාල්ල කොටුවේ පිහිටා ඇති රාජ්‍ය ආයතන 15ක් දෙසැම්බර් මස අවසානයට පෙර කොටුවෙන් ඉවත් කිරීමට ගැසට් නිවේදනය නිකුත් වී ඇති බවත් ඒ අනුව අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ගාලු උරුමය පදනමේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ චන්න දාස්වත්ත මහතා පසුගියදා පැවසීය.