ගැටළු විසඳන්නයි පේරාදෙණිය සරසවි සිසුහු විදී බසිති


(චමිල් රුපසිංහ)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන්ට විශ්ව විද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට පත් කිරීමේ හා ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුහු අද  (18) ගලහ හන්දියට රැස්වී උද්ඝෝෂණයක නිරත වූහ.
 
විරෝධතා පා ගමන ගලහ හන්දිය දක්වා පැමිණීමෙන් පසු ටයර් පුළුස්සා මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වීම හේතුවෙන් මාර්ග තදබදයක්ද ඇති විය.
 
විශ්ව විද්‍යාල පරිපාලනය විසින් නොවිසදන ගැටළු රැසක් පවතින බවත් ඒ ගැටළු සඳහා කඩිනමින් විසදුම් ලබා දෙන තුරු මෙම අරගල අඛන්ඩව සිදු කරන බවත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මහීල් බණ්ඩාර දෙහිදෙණිය පැවැසීය.
 
ආර්ථික ගැටලු ඇතුළු විවිධ ප්‍රශ්න හේතුවෙන් සිසුන්ට දේශන සඳහා සෑම අවස්ථාවකම සහභාගි විය නොහැකි බවත් එය ඉලක්ක කර ගනිමින් සිසුන් මර්දනය කිරීමට පරිපාලනය ක්‍රියාකරන බව ඔහු පැවැසිය.
 
ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දමා සිසුන්ට අධ්‍යාපන අයිතිය අහෝසි කළත් එම සිසුන් වෙනුවෙන් සෙසු පීඨ එක්ව පරිපාලනයට එරෙහිව අරගල කරන බවත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා එහිදි සඳහන් කළේය.