ගුවන් විරුවන් හදපු ගම ජනපති විවෘත කරයි


 

(ඩයනා උදයංගනී)

ගුවන් හමුදාව සිය 70 වන සංවත්සරය නිමිත්තෙන් ඉදිකළ “කණුගහවැව ආදර්ශ ගම්මානය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඉකුත් දා විවෘත කෙරිණි.

කැබිතිගොල්ලෑව “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේදී ජනතාව ඉදිරිපත් කළ දුක් ගැනවිලිවලට විසඳුමක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම අනුව ගුවන් හමුදාව විසින් මෙම ගම්මානය ඉදිකරනු ලැබිණි.

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කණුගහවැව ග්‍රාමයේ නිවාස ඇතුළු අවශ්‍යතා සංවර්ධනය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් බාරගන්නා ලදී.

අවශ්‍යතා හඳුනාගෙන සැලසුම් ඉදිරිපත් කිරීමේ වගකීම ගමේ විහාරාධිපති හිමියනට, ප්‍රාදේශීය ලේකම්වරයාට, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ ග්‍රාම නිලධාරීවරයාට ජනාධිපතිවරයා විසින් පවරනු ලැබිණි.

ඒ අනුව ඉදිවූ කණුගහවැව ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට ගිය ජනාධිපති රාජපක්ෂ මහතා පළමුව අභිනවාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු විහාරාධිපති හිමියන් බැහැ දැක සුහද පිළිසඳරක නිරත විය.

යෝජිත වෙහෙර වහන්සේ ඉදිකෙරෙන භූමිය, අභිනවයෙන් ඉදිකෙරුණු බෝධිඝරය, ආවාස ගෙය සහ වැඩ අවසන් කෙරුණු ඝණ්ඨාර කුළුණ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

කණුගහවැව ප්‍රාථමික විද්‍යාල භූමියට පැමිණි රාජපක්ෂ මහතා නව නිවාස 12 ක සහ “ගුරු නිවාසයෙහි” යතුරු නිවාස හිමිකරුවන්ට සහ විදුහල්පතිවරයාට බාර දුන්නේය.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පාසල් දරුවන්ට නිල ඇඳුම් සහ පාසල් උපකරණ ප්‍රදානය කෙරිණ.

කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය, ආදර්ශ ගෙවතු වගා ව්‍යාපෘතිය, ගුරු නිවස සහ ජංගම අක්ෂි රෝහලේ සිදුකල අක්ෂි සැත්කම් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

කණුගහවැව ග්‍රාමයේ ඉඩම් ඔප්පු අහිමි පස් දෙනෙකුට ඔප්පු ප්‍රදානය ද මෙහිදී සංකේතාත්මකව සිදු විය.

අනතුරුව කණුගහවැව ආදර්ශ ගම්මානය වෙත ළගා වූ ජනාධිපතිතුමා අලුතින් ඉදිකළ නිවසක් සහ කණුගහවැව ආදර්ශ ගම්මානයේ අලුතින් ඉදිකළ කි.මි 15ක් දිග අලිවැට ද නිරීක්ෂණය කළේය.

අසළ නිවසකට ගිය එතුමා නිවැසියන් සමග සුහද කථා බහක නිරතවෙමින් තොරතුරු විමසීය.