ගුවන් හමුදා 70 වැනි සංවත්සරයට ගාලු මුවදොර පිටියේ ගුවන් සංදර්ශනයක්


 

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැත්තෑ වන සංවත්සරය වෙනුවෙන් ඉන්දියානු ගුවන් හමුදා ගුවන් යානා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් යානා එක්ව මාර්තු තුන්වන දින සිට පස් වන දින දක්වා ගාලු මුවදොර පිටියේදී විශේෂ ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වෙන බව ගුවන් හමුදාව සඳහන් කරයි.

මෙම ගුවන් සංදර්ශණය නැරබීම සඳහා මහජනතාවට අවස්ථාව සලසා දී ඇති අතර සෞඛ්‍ය මාර්ගේපදේශවලට යටත්ව මෙම ගුවන් සංදර්ශණය නැරබීම සඳහා එක්වන ලෙසද ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබයි.
 
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැත්තෑ වන සංවත්සරය වෙනුවෙන් ආචාර පෙළපාලිය පැවැත්වීම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේදී අනිද්දා (2) වැනිදා පැවැත්වේ.

ගුවන් හමුදාවේ හැත්තෑ වන සංවත්සරය නිමිත්තෙන් ගුවන් යානා සන්දර්ශන, ගුවන් හමුදා පාපැදි සවාරිය, ගුවන් හමුදා රග්බි තරගාවලිය ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා පැවසීය.

එයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීමද එදින සිදුවේ.

මාර්තු 5 වැනිදා ගුවන් හමුදා අංක පහ ජෙට් ප්‍රහාරක බලගණයට හා අංක හය ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝනයන් වෙත ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

හැත්තෑ වසරක ගුවන් හමුදාවේ ගුවන් බලය පිළිබඳ ලියැවුණු කෘතීන් එළිදැක්වීම එදිනම සිදුකිරීමට නියමිතය.

විසි දෙවැනි වරටත් පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 7 වැනිදා පැවැත්වෙන බවද ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේය.

අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුව ගුවන් හමුදා ධජ ආශිර්වාද ගැන්වීමේ පූජෝත්සවය මාර්තු 10 වැනිදාත්, ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට එක්වන බැතිමතුන් විසින් අවට පරිසරයට මුදා හරිනු ලබන කුණු කසළ ඉවත් කොට ශ්‍රී පාද මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් මාර්තු 12 වැනිදාත් පැවැත්වේ.

මාර්තු 20 - 21 සහ 26 - 27 යන දිනවල ගුවන් හමුදාපති රග්බි තරගාවලිය පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැත්තෑ වන සංවත්සරය වෙනුවෙන් ඉන්දියාව, පකිස්ථානය. බංගලාදේශය ඇතුලු රටවල් හතරක ගුවන් හමුදාපතිවරුන් පැමිණීමට නියමිත බවද ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේය.

 

(ඡායාරූප - ළහිරු හර්ෂණ)