ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ සැණකෙළිය ජනපති අතින් විවෘත කරයි


(ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරයට සමගාමීව හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වෙන  ‘Air Tattoo - 2019‘  ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ සැණකෙළිය අද (02) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන  මහතා අතින් විවෘත විය.

ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ අතර ගුවන් මගින් බීජ රෝපණය කිරීම පිළිබඳ සකසා තිබූ ප්‍රදර්ශන කුටිය එහිදී ජනාධිපතිතුමාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.

එමෙන්ම ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයට අයත් ප්‍රදර්ශන කුටිය වෙත ගිය ජනාධිපතිවරයා වෙත එම පුහුණු කටයුතු පිළිබඳ සම්පාදනය කෙරුණු ග්‍රන්ථයක් ද පිළිගැන්විණි. එහිදී නව වෙබ් අඩවියක් ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි.

හෙට සිට 06 වැනිදා දක්වා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ දී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේදී ගුවන් හමුදාවේ කාර්යභාරය සහ ගුවන් හමුදාව සතු සම්පත් ප්‍රදර්ශනය කිරීම මෙන්ම මහජනතාව වෙනුවෙන් හදිසි ආපදා තත්වයන්හිදී හා ස්වභාවික ව්‍යවසනයන්හිදී ගුවන් හමුදාව ක්‍රියාකරන ආකාරය නිදර්ශනාත්මකව ඉදිරිපත් කිරීම සිදු කෙරේ.

එමෙන්ම ගුවන්යානා සංදර්ශන හා ගුවන් කරනම්, පැරෂුට් සංදර්ශන, ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බළකාය විසින් ඉදිරිපත් කරනු ලබන ගොඩබිම් සටන් සංදර්ශන, ගුවන් සුනඛ සංදර්ශන, තූර්ය වාදන හා සරඹ සංදර්ශන සංස්කෘතික හා සංගීතමය වැඩසටහන් රැසකින් එය සමන්විතය. සෑම දිනකම ප.ව 2.00 ට ආරම්භ වන සැණකෙළිය මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙයි. මෙය මහජනතාවට සම්පූර්ණයෙන් විවෘත අතර, ඇතුලු වීම සඳහා කිසිඳු ගාස්තුවක් අය නොකෙරේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ඇතුලු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.