ගොවීන්ට වන්දි ගෙවීම අරඹයි


 

(නිමල කොඩිතුවක්කු)

2020/21 මහ කන්නයේ වගා හානි ලබාදීම ආරම්භ කරමින් නැගෙනහිර පළාතේ ගෙවීන්  සඳහා වන්දි මුදල් ප්‍රදානය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දී අද (08) සිදුකෙරිණි.

මෙහිදී එක් අයෙකුට උපරිමය රුපියල් එක්ලක්ෂ අසූදහසක් වන පරිදි  ගොවීන් 150 දෙනෙකු සඳහා සංඛේතාත්මකව වන්දි මුදල් ප්‍රධානය කෙරිණ.

2020/21 මහ කන්නයේ වගා හානි සඳහා ගොවීන් හතළිස් දහසක් සඳහා රුපියල් කෝටි 128 ක මුදලක් බෙදා දීමට කටයුතු කරන බවත් එහිදී අදහස් දැක්වූ  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
වී වගාව සඳහා උපරිම වශයෙන් අක්කර පහකට ද අනෙකුත් බෝග වර්ග සඳහා අක්කර දෙකහමාරක් සඳහා ද  වන්දි ගෙවීම් සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීවේය.

පූර්ණ හානියක් සිදු වූ විට අක්කරයකට  රුපියල් හතලිස් දහසක වන්දි මුදලකුත් ඊට සමානුපාතිකව හානිය ප්‍රමාණය අනුව වන්දි ගණ්නයකොට ගෙවීමක් සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වගා හානියක් සිදු වූ විට එම හානිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානය වෙත වාර්තා කිරීමෙන් පසු ගොවි සංවිධානයේ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් සමන්විත කමිටුවෙන් වගා හානි තක්සේරු කොට වන්දි ගණ්නය කර ගෙවීම් සිදුකරන බවද හෙතෙම පැවසීය.

වී, බඩඉරිඟු, සෝයා, අමුමිරිස්, ලොකු ලූනු, අර්තාපල් යන බෝග වර්ග හය සඳහා ස්වාභාවික හේතූන් ගෙන් සහ වන අලින් විසින් විනාශ කිරීමෙන් සිදුවන හානි සදහා සඳහා රක්ෂණ වාරිකය අය කිරීමෙන් තොරව මෙම වන්දි ප්‍රදානය සිදු කෙරේ.

ඒ අනුව මෙවර වන්දි මුදල් ලබා දීම සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයට රුපියල් කෝටි 32ක්, ත්‍රිකුණාමලයට රුපියල් කෝටි 17ක්, අනුරාධපුරයට රුපියල් කෝටි 12.5 ක්, මොනරාගලට රුපියල් කෝටි 11.9 ක්,  මන්නාරමට රුපියල් කෝටි 8.3 ක්, යාපනයට රුපියල්  කෝටි 7.2ක්,  අම්පාරට රුපියල්  කෝටි 6.3ක්,  පොළොන්නරුවට රුපියල් කෝටි 5.1ක්,  බදුල්ලට රුපියල් කෝටි 4.9 ක්, කුරුණෑගලට රුපියල්  කෝටි 4.8ක්, මුලතිව් දිස්ත්‍රික්කයට රුපියල්  කෝටි 3.1ක්, කිලිනොච්චියට රුපියල් කෝටි 2.9 ක් සහ අනිකුත් දිස්ත්‍රික්ක සඳහා රුපියල් කෝටි 12 ක මුදලක් වෙන් කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී. එම්. එල් බණ්ඩාරනායක, කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)