ගෝඨාභය රාජපක්ෂ කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය ජනගත වෙයි


(හර්ෂණ තුෂාර සිල්වා)

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත ‘ගෝඨාභය රාජපක්ෂ’ කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය සහ ‘පාතාලයෝ’ කෘතිය කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී අද (6) පස්වරුවේ එළිදැක්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙසත් සහභාගී වූහ.

කෘති ද්විත්වයේ මුල් පිටපත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනාහිමියන් ප්‍රමුඛ මහ සංඝරත්නයට පිරිනැමුණි.

එහි පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට පිළිගැන්වූයේ ඉන් අනතුරුව ය.

දිවංගත ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ බිරිඳ වන ලලී කොබ්බෑකඩුව මහත්මියට සහ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතාගේ බිරිඳ වන මානෙල් විමලරත්න මහත්මියට ද ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතින් කෘති ද්විත්යේ පිටපත් පිළිගැන්විණි.

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට සහ කමල් ගුණරත්න මහතාගේ බිරිඳ වන චිත්‍රානී ගුණරත්න මහත්මියට ද කෘතියේ පිටපත් පිරිනැමුණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා මෙම උත්සවයේ මුඛ්‍ය දේශනය කළ අතර ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන විශ්ව රාජපක්ෂ මහතා, කමල් ගුණරත්න මහතා පිළිබඳ හැඳින්වීමක් කළේය.

මෙම අවස්ථාවට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජෙරී ද සිල්වා, විජිත යාපා ප්‍රකාශන සමාගමේ අධිපති විජිත යාපා සහ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම්.කීර්තිරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

(ඡායාරූප  - ජයමාල් චන්ද්‍රසිරි)