චීනයේ ‘ෂු කේ ෂෙන්’ නෞකාව කොළඹ වරායට


චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (14) කොළඹ වරායට ‍සේන්දු විය.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.  

චීන නාවික හමුදාවේ සාගරික මිනුම් ඒකකයේ නියෝජ්‍ය ආඥාපති, ජ්‍යෙෂ්ඨ කපිතාන් ජෑන් බොරැන් මහතා නෞකාවේ අණදෙන නිලධාරී බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා හමුවිය.

එහිදී ඔවුහු සුහද පිළිසඳරක නිරත වූ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගත්හ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි මහතා සහ නෞකාවේ නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ.

සංචාරය නිමා කිරීමෙන් අනතුරුව (19) වැනි දින ‘ෂු කේ ෂෙන්’ නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)