ජපානයේ ‘ඩීඩී-151 අසගිරි’ නෞකාව කොළඹ වරායට


ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ඩීඩී-151 අසගිරි’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (4) කොළඹ වරායට සේන්දු විය. 
 
එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු සංජිව ඩයස් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.
 
නෞකාව වරායට පැමිණිමෙන් පසුව නෞකාවේ අණදෙන නිලධාරී වන කොමාන්ඩර් යෝසිනෝරි සාටෝ නිලධාරිතුමා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න හමුවිය. 
 
එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අට්සුහිරෝ මොරොරෙ ද සහභාගි විය.
 
දිගින් මීටර් 137 ක් වන  ‘ඩීඩී-151 අසගිරි’ නෞකාව ටොන් 3550 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 150 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතය.
 
ඒ අනුව සංචාරය නිමා කිරීමෙන් පසුව එළඹෙන අප්‍රේල් 6 වැනි දා එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතය.