ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙල මෝදිගේ ප්‍රධානත්වයෙන්


(ඡායාරූප - ශාන්ත රත්නායක)
 

එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ ප්‍රධාන උත්සවය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද(12) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුද ඊට එක්වූහ. මෝදි මහතාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉන්දීය අගමැතිවරයාට විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

අස්ගිරි, මල්වතු උභය විහාරයීය මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, ලෝකයේ බෞද්ධ රටවලින් වැඩම කළ විදේශීය භික්ෂුන් වහන්සේලා ද, අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන් ද, ගරු කථානායක කරූ ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරු සහ දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයින් රැසක් මෙම උත්සවයට සහභාගී වූහ.