ජාතික අලුත් සහල් මංගල්‍යයේ සතර වාහල්කඩ කිරි ඉතිරවීමේ චාරිත්‍රය අද


ජාතික අලුත් සහල් මංගල්‍යට පෙර සුපුරුදු චාරිත‍්‍රානුකූලව සතර වාහල්කඩ කිරි ඉතිරවා සිදුකරනු ලබන දේව කන්නලවිව (06) අද අලුයම කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඓතිහාසික ජය ශ්‍රි මහා බෝ සමිඳුන් අභියස දී හෙට (07) පෙරවරු 09.00 ට මහත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය.

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජය ශ්‍රි මහා බෝ සමිඳුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍යය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම්ව පවතී.

රජ සමයේ සිට පැවත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවින් රැසක් එක්වීමට නියමිත  අතර රට ස්වයංපෝෂිත වී කෘෂිකර්මාන්ත කටයුතු දියුණු වී රටට, ජාතියට සෙත් පැතීම මෙම අලුත් සහල් මංගල්‍යයෙන් අපේක්ෂා කෙරේ.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙන අතර කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ මැදිහත් වීම මත හෙට ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ නැගෙනහිර පිවිසුම අසල ඉදිකරනු ලබන හෙල බොජුන් හලටද හෙට පෙරවරු 08ට ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් මුල්ගල් තැබීමටද නියමිතය.