ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 2378 දෙනෙකුට සහතික


(අංජුල මහික වීරරත්න)

ආගම් හා ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි වසර දෙක තුළ රටෙහි ස්ථාපිත කළ යුතු යැයිද එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක  ආරම්භ කළ ඒ ක්‍රමය වර්තමානය වන විට සිංගප්පූරුව තුළ ක්‍රියාත්ම වන්නේ යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද (22) පැවැසීය.

පොදු ක්‍රමවේදයක් සැකසීම සඳහා කරුණු අධ්‍යයනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිංගප්පූරුව වෙත පිටත් කර යැවීමට පියවර ගන්නා බව කී අග්‍රාමාත්‍යවරයා  නව අධ්‍යාපන ක්‍රමය පිළිබඳව විවිධ යෝජනා සහ අදහස් මේ වන විට ඉදිරිපත්ව තිබෙන බැවින්, ඒ සියල්ල සැලකිල්ලට ගෙන ශ්‍රී ලාංකීය අනන්‍යතා මූලධර්ම පදනම් කර ගනිමින් රටේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙන යෑමට පියවර ගන්නා බව ද පැවැසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ජාතික ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමාලාභීන් වෙත ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.

රුහුණු, නිල්වලා, පේරාදෙණිය, ඌව සහ රුවන්පුර යන ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි අධ්‍යයනය ලැබූ ඩිප්ලෝමාලාභීන් 2378 දෙනෙකු සඳහා අද ජාතික අධ්‍යාපන ඩිප්ලෝමා ප්‍රදානය කරනු ලැබූ අතර, මෙම වැඩසටහන අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත ජාතික අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කර තිබිණි. 
 
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)