ජෝඩු ඇල්ල සුන්දර වෙයි



(ශාන්ත චන්ද්‍රසිරි)

 
නකල්ස් වනාන්තර පද්ධතියේ තවත් එක් සොඳුරු නිර්මාණයක් වන  ජෝඩු දිය ඇල්ල මේ දිනවල එම කලාපය ආශ්‍රිතව පවතින වර්ෂාව හේතුවෙන් සුන්දර දසුන් මවමින් කඩා හැලෙමින් පවතී.
 
උසින් මීටර් 45 ක් වන ජෝඩු දිය ඇල්ලට එම නම වැටී ඇත්තේ එක සමාන දිය ඇලි දෙකක් එකම අයුරින් එකම ස්ථානයේ  කඩා හැලීම හේතුවෙනි.
 
වත්තේගම- බඹරැල්ල මාර්ගයේ තවලන්තැන්න, ප්‍රදේශයෙන්  ගොස් මෙම දිය ඇල්ල වඩාත් පහසුවෙන් නැරඹිය හැකි බව නකල්ස් අපි සංවිධානයේ පරිසරවේදි සමින්ද විදානගේ මහතා පවසයි.
 
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ පහස නොලැබු මෙම සුන්දර දියඇල්ල අවට ප්‍රදේශයට මේ වනවිට යළිත් සංචාරකයන් පැමිණෙමින්  පවතින බවත්, දියඇල්ල හා නකල්ස් සුන්දර වනාන්තර පද්ධතිය හා ඒ අවට අනෙකුත් දියඇලි නැරඹීමට ඒමේදි පොලිතීන්, ප්ලාස්ටීක් වැනි නොදිරන ඝන අපද්‍රව්‍ය රැගෙන නොයන ලෙස ඒ  මහතා ඉල්ලා සිටී.
 
සංචාරකයන් නැරඹීමට පැමිණි කෙටි කාලයක්  තුළදී නකල්ස් වනාන්තර පද්ධතියේ දිය ඇලි අවට විවිධ අපද්‍රව්‍ය එක්රැස්ව ඇති බවත්, නකල්ස් වනාන්තර පද්ධතිය හා ඒ අවට ප්‍රදේශ පොලිතින් හා ප්ලාස්ටීක්වලින් තොර කලාපයක් ලෙස නම් කර ඇති බැවින් එවැනි අපද්‍රව්‍ය කිසිවක් එම ප්‍රදේශයට රැගෙන නොයන ලෙස සංචාරකයන්ගෙන් සමින්ද විදානගේ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.