තන්තිරිමලේ පුදබිම දෙවැනි දිනයටත් ඒකාලෝක කෙරෙයි


බිඟුන් මේනක ගමගේ

සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත වාර්ෂිකව සංවිධානය කරන ‘ලංකාදීප‘ පොසොන් ආලෝක පූජාවේ දෙවැනි දිනය වූ අද  ලංකාදීප ප්‍රධාන කර්තෘ හා විජය පුවත්පත් සමාගමේ   අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතා අතින් ආලෝක පූජාව විවෘත කෙරිණි.

ලංකාදීප පොසොන් ආලෝක පූජාවෙන් ඓතිහාසික තන්තිරිමලේ පුද බිම විදුලි බුබුළු දස දහස් ගණනක එළියෙන් ඒකාලෝක වෙද්දී පැමිණ සිටි දෙස් විදෙස් බැතිමත්හු සාධු නද දෙමින් පිංකමට සහභාගී වූහ.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මැද ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා ප්‍රමුඛ පිරිස ඓතිහාසික තන්තිරිමලේ පුදබිමෙහි බුදු මැදුර අභියස ගල් තලාවේ ස්ථාපිත කරන ලද විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය මගින් විවෘත කිරීම සිදුකළේය.

14 වැනි  වරට සංවිධානය කරනු ලැබූ ලංකාදීප ආලෝක පූජාව ආරම්භ කරනු ලැබුවේ 2004 වසරේදීය.

තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උපප්‍රධාන සංඝ නායක තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ආලෝක පූජාව ඇතුලූ පිංකම් සිදු කෙරන අතර ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ   වැඩසටහන සජීවීව විකාශය කෙරිණි. 

(ඡායාරූප ඉෂාන් සංජීව)