තවත් කොටියෙක් මන්දකට හසු වී මියයයි


(රංජිත් රාජපක්ෂ)

තවත් කොටියෙකු මන්දකට හසු වී අද (20) මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක් මත මන්ද සහිතව කොටියා මිය ගොස් ඇති බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කළේය.

මාපකන්ද ප්‍රදේශයේ වගා භූමියක සතුන් දඩයම් කිරීම සඳහා දඩයම්කරුවන් විසින් අටවන ලද මන්දකට හසු වී ඇති කොටියා මන්ද කඩාගෙනවිත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක නැග ඇති අතර එහිදී මන්ද සවි කර තිබූ මුගුර ගසේ සිරවීම නිසා ඉන් බේරිමට කොටියා උත්සහ කර ඇති අවස්ථාවේ කොටියා ගස මතම මියගොස් ඇති බව ඒ මහතා පැවසීය.

කොටියාගේ උදරය මන්දට හසු වී කොටියාට දැඩි ලෙස තුවාල සිදුවී තිබූ බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කීය .

කෝපි ගස මත කොටියෙකු මියගොස් සිටින බවට ප්‍රදේශවාසින් විසින් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් වෙත දැනුම් දී ඇත.

අවුරුදු 7 ක් පමණ වයසැති කොටි දේනුවක් මෙසේ මිය ගොස්  ඇති බවත්  සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මිය ගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.