තුවාල වූ බටු කැස්බෑවාට ප්‍රතිකාර කර මුහුදට මුදා හරී



(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
හිසට එල්ලවු බරපතල පහරක් හේතුවෙන් තුවාල ලබා සිටි බටු කැස්බෑවකුට ප්‍රතිකාර කර නැවත මුහුදට මුදා හැරීමට කටයුතු කළ බව වනජීවි නිලධාරීහු කියති.
 
දින කිහිපයකට පෙර මෙම දැවැන්ත බටු කැස්බෑවා මහ සයුරේදි කිසිවකුගේ පහර කෑමකට ලක්ව කන්දකුලිය වෙරළ තීරයේ සිටියදි නාවික හමුදාව විසින් කන්දකුලිය වනජීවි නිලධාරින්ට බාර දී තිබුණි.
 
මෙම කැස්බෑවාගේ ජීවිතය බේරාගැනීමට වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටේගොඩ මහතා සමග කන්දකුලිය වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතා ඇතුළු වන ජීවි නිලධාරීහු පැය 4 කට අධික කාලයක් සැත්කමක් කර හිසේ තුවාල වූ කටුව සැකසූහ. ප්‍රතිකාරවලින් පසුව කැස්බෑවාව යලි මුහුදට මුදා හැර තිබේ.
 
වනජීවි නිලධාරින් පවසන්නේ මුහුදු රැකියාවේ නිරත ධීවරයින් විසින් කැස්බෑවන් මරා දැමීම හේතුවෙන් කැස්බෑවන් අනතුරට ලක්වී ඇති බවය. ඇතැම් ධීවරයින් මහ සයුරේදී කැස්බෑවන් දඩයම් කිරීම සඳහා දියමත පිහිනා යන කැස්බෑවන්ගේ හිසට පහර දී මරා දමන බවට වාර්තා වන බව වනජීවි නිලධාරීහු පවසති. කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතා පවසා සිටියේ මේනිසා කැස්බෑවන් අනාරක්ෂිත සතුන් කොටසක් බවට පත්ව ඇති බවයි.
 
කෙසේ නමුත් නාවික හමුදාව නිරන්තරයෙන් සිදුකරන සෝදිසි මෙහෙයුම් හා වනජීවි නිලධාරින්ද මුහුදු සීමාවන්වල කරනු ලබන සෝදිසි හේතුවෙන් කැස්බෑවන් මරා දමන ඇතැම් ධීවරයින්ට වැට බැඳ ඇත.
 
ඒ කෙසේ වෙතත් පසුගිය කාලසීමාවලදී මෙලෙස පහර දී මරා දැමීමට සූදානම් වූ කැස්බෑවන් රැසකගේ ජීවිත බේරා නිසි ප්‍රතිකාරවලින් පසුව මහ සයුරට මුදා හැරීමට වනජීවි නිලධාරින් කටයුතු කර තිබිණි.