දරුවන් 18 ක් බිහිකළ මවකට වැඩිහිටි සැමරුමේ දී උපහාර


(ඩයනා උදයංගනී)

ලෝක වැඩිහිටි දින ජාතික සැමරුම් උත්සවය සෞඛ්‍ය  ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (1) පැවැත්විණි.

“වසංගත හමුවේ වැඩිහිටි අභියෝග” යන්න තේමා කර ගනිමින් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

වැඩිම දරුවන් සංඛ්‍යාවක් සිටින මව්වරුන් වෙනුවෙන් උපහාර දැක්වීමක් ද මෙහිදී සිදුකෙරුණු අතර එහිදී වැඩිම දරුවන් දැයට දායාද කළ මාතාව ලෙස දරුවන් 18 දෙනෙකු බිහිකළ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි ඩී.එම් මැණික්හාමි මාතාව සෞඛ්‍ය අමාත්‍යවරිය අතින් ඇගයීම් තිළිණ ලබාගත්තාය. 

වැඩිහිටි නිවාස සදහා මුදල් ආධාර සහ ලියාපදිංචි සහතික පිරිනැමීම, වැඩිහිටි හරසර ක්‍රීඩාවෙන් ජයගත් වයස්ගතම වැඩිහිටි ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙත උපහාර පිදීම ආදි කටයුතු ද මෙහිදී සිදු විය.