දැදුරු ඔය රක්ෂිතයේත් වැලි ජාවාරමක්


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වාරියපොළ  දැදුරු ඔය ජලාශයේ ජලාශ රක්ෂිතයේ සිදුවන නීති විරෝධි වැලි ජාවාරම නිසා ජලාශය බරපතල අවදානමකට පත්ව ඇතැයි ජනතාව සහ පරිසර සංවිධාන චෝදනා කරති. 

වැලි ජාවාරම්කරුවන් ඉවක් බවක් නොමැතිව දැදුරු ඔය ජලාශ  රක්ෂිත වන පොල්ගම්මන ,මලගනේ, කිතුල්වැහැර , පොතුවැව, තඹරව, ඉපලව, නැටිය, ප්‍රදේශ තුළ   නීති විරෝධි අයුරින් දැවැන්ත වලවල් හාරමින් එම වලවල් තුළට ජලාශයේ ජලය පොම්ප කරමින් ඉන් පසුව වලවල් තුළ එකතු වන රොන් මඩ සහිත ජලය ජලාශයට ගලා යාමට ඉඩ හැරීම බරපතලම තත්වයක් බවට පත්ව තිබේ. 

ජලාශය ඉදිකිරීමේදි අක්කර 4000 කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටවු අතර එයින් තවත් බිම් ප්‍රමානයක් ජලාශ රක්ෂිත ලෙස නම් කර කිසිවකුටත් එම භූමියට ඇතුළු වීම තහනම් කර ඇත්තේ  රක්ෂීත ආරක්ෂා විමේ නියමිත වාරි මාර්ග නීති ක්‍රියාවලිය  අනුව බව කියයි . 

ජලාශයට යටවු බිම් වල පදිංචිව සිටි පවුල් 640 ක සංඛ්‍යාවක් සදහා තෙළහැර , පොල්ගම්මන , නෙළුම්ගම ,හා පිටර්වැලිවත්ත ප්‍රදේශවල නව ගම්මාන ඉදිකර දීමට රජයන් කටයුතු කර පදිංචි කිරීමත් සිදුවු බව කියති. 

 දිනකට වැලි ලොරි 100 කට ආසන්න ප්‍රමානයක් වාරියපොළ  පොලිස්ථානය අසලින් ගමන් කිරීම සිදුවන්නේ නීතිය ක්‍රියාත්මක කරන පිරිස් බලා සිටියදිම  විම පුදුමය දනවන්නක් ව තිබේ. 

මේ තත්වය පිළිබදව කුරුණැගල කලාප වාරි මාර්ග අධ්‍යක්ෂ මාලනී කුලතුංග මහත්මිය මෙසේ කීවාය.“මේ නීති විරෝධි වැලි ජාවාරම පිළිබදව අපි අදාල අංශ විශේෂයෙන් පොලිසිය දැනුවත් කර තිබෙනවා . නමුත් ඒ අංශ ක්‍රීයාත්මක විම සැලකිය යුතු තත්වයක නොමැති බව  කියන්න පුළුවන්. මේ වැලි කැපිම සිදුවන ප්‍රදේශ ජලාශ රක්ෂීත ප්‍රදේශ එයින් ඉවත් වන රෝන් මඩ නිසා ජලාශය බරපතල අවදානමකට මේ වන විට පත්ව තිබෙනවා‘‘