දිවි පරදුවට තබා ගංගා තරණය කළ අයට ග්‍රාමීය පාලම්


ඒ දඬු, වැල් පාලම් හා කුඩා පාලම් වෙනුවට ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ සමාරම්භක උත්සවය ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(01) රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.
 
ඒ අනුව කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ඉල්ලීමකට අනුව, මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හපුගොඩ පාලමේ ඉදිකිරීම් කටයුතු ඇරඹිණි.
 
මෙම ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ පළමු අදියර රත්නපුර, බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වේ.
 
මෙම පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කුඩා පාලම් යෝජනා 5,000 කට අධික ප්‍රමාණයක් අමාත්‍යාංශය වෙත ලැබී ඇති බවද, ඉදිරි වසර 4ක කාල සීමාව තුළ මෙම පාලම් අවශ්‍යතා සපුරාලීම රජයේ අපේක්ෂාව බවද රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.
 
මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ නියෝජිතවරු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු සංගමයේ නියෝජිතවරු, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු සහ ගම්වාසීහු සහභාගී වී සිටියහ.