දිසාපති කාර්යාලය වටලති


(බී.ජී. චතුරංග)

උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට පියවර ගැනීම නිසා තම රැකියා අවදානමක බව කියමින් හා ඊට විරෝධය පළ කරමින් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෝ පිරිසක් අද (21) විරෝධතා පෙළපාලියකින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුල් වූහ.

මෙහිදී උද්ඝෝෂකයන්ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය භුමියට ඇතුළු වීමට ආරක්ෂක නිලධාරීන් ඉඩ ලබා නොදුන් අවස්ථාවේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

පසුව උද්ඝෝෂකයෝ බලහත්කාරයෙන් එහි ගේට්ටු විවෘත කර ඇතුළු වූහ.

සේවකයින්ට කිසිදු දැනුම්දීමකින් තොරව උතුරු මැද පළාත් මහ ඇමතිවරයා හා අමාත්‍යංශ ලේකම්වරිය පසු ගිය පළමු වැනි දා සිට උතුරු මැද පළාත් සංවර්ධන අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම  සදහා පියවර ගැනීමත් සමග තමන්ගේ සේවයේ ස්ථීර භාවය , වැටුප් ප්‍රමාණය,විශ්‍රාම වැටුප් පිළිබදව බරපතල ගැටළු මතුව තිබෙන බව උද්ඝෝෂකයෝ පැවසූහ.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා එම ස්ථානයට පැමිණි අතර ඒ මහතා උද්ඝෝෂකයින්ට කියා සිටියේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමග මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කර හෙට දිනයේ විසඳුමක් දීමට කටයුතු කරන බවයි.

එහිදී උද්ඝෝෂකයන් පැවසූවේ ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය පිළිබදව විශ්වාසය තබා විසිර යන බවත් ඉක්මන් විසඳුමක් නොලැබුණ හොත් ඉදිරියේදී දැවැන්ත උද්ඝෝෂණයක් කරන බවත්ය.