දුර්ලභ කලු රාජාලියෙක්


(එම්. සුසිල් ප්‍රියන්ත)

උඩ රට දිය ඇළි ආශ්‍රිතව කිසිවකුටවත් ලංවීමට නොහැකි ගල් කුළු මුදුන් වාසභවන කරගෙන ඉතා රහසේ සැඟවී සිටින දුර්ලභ ගනයේ කලු රාජාලියකු අනතුරකට ලක්ව සිටියදී  පිටිගල බොරලුහේන ප්‍රදේශයේ අද (13) සොයාගත් බව හික්කඩුව වන ජීවී කාර්යාලය කියයි.

වඳවී යාමේ දැඩි තර්ජනයකට ලක්ව සිටින මෙම සත්වයා පහත රට දැකිය නොහැකි  තරම් බව එම කාර්යාලය පවසයි. පිටිගල බොරලුහේන ප්‍රදේශයේ පදිංචි පරිසරවේදියෙකු වන සරත් ජයසිංහ මහතාගේ දැනුම් දීමකට අනුව සොයාගෙන ඇත.

විදුලි සැර වැදීමක් වැනි අනතුරකින් මේ සත්වයාට පියාඹාගෙන යාමට නොහැකිව බිම වැටෙන්නට ඇති බව හික්කඩුව වන ජීවී කාර්යාලයේ  නිලධාරිහු සැක කරති.

හික්කඩුව වන ජීවී කර්යාලයේ බාරකරු වන උත්පල අදාරත්න මහතා සහ එම කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂකවරුන් වන ඩබ්ලිව්. ශාන්තානන්ද, කේ.සරත් ජයසිංහ යන මහත්වරුන් විසින් මේ සත්වයා හික්කඩුව වන ජීවී කාර්යාලයට ගෙන එන ලදී.

 මෙසේ රැගෙන ආ  මේ දුර්ලභ ගනයේ කලු රාජාලියා ගාල්ල හියාරේ වන සත්ව සං‍රක්ෂණ මධ්‍යස්ථානයට බාර දීමට කටයුතු කරන බව හික්කඩුව වන ජීවී කර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.