දුර්ලභ පොකිරිස්සෙක් තංගල්ලෙන් හමු වෙයි



 
(චන්ද්‍රසේන ගමගේ)

 
මෙරට මුහුදු සීමාවෙන් මෙතෙක් හමු නොවූ දුර්ලභ ගණයේ පොකිරිස්සකු තංගල්ල නාවික හමුදා කඳවුර ආසන්නයෙන් හමුවු බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේ  ජලජීවි විද්‍යාඥ උපුල් ලියනගේ මහතා පවසයි.

ඉකුත් 18 වැනි දා පොකිරිස්සන් අල්ලනු ලබන කිමිදුම්කරුවකුට මෙම පොකිරිස්සා හමුවූ බවත් ඔහුගේ දැනුම් දීම මත මෙම පොකිරිස්සා නාරා ආයතනයේ බාරයට ගත් බවත් උපුල් ලියනගේ මහතා පවසයි.

ජලජීවී විද්‍යාඥ උපුල් ලියනගේ මහතා වැඩිදුරටත් පවසන්නේ මෙම පොකිරිස්සා නැගෙනහිර ආසියා මුහුදු තීරයේ දුර්ලභ වශයෙන් හමු වෙන ස්වාභාවික වද වීමේ තර්ජනයකට ලක්ව ඇති මුහුදු සත්වයෙකු බවයි.

මෙම දුර්ලභ පොකිරිස්සා  දිය වැලකට හසුව මෙරට මුහුදු තීරයට ගසා ගෙන එන්නට ඇතැයි විශ්වාස කරන බවද ඔහු කීවේය.

මෙම දුර්ලභ පොකිරිස්සා හමුවූ චින්තන පුෂ්ප කුමාර මහතා පැවසුවේ තමන් වසර 28 ක් තිස්සේ පොකිරිස්සන් ඇල්ලීමේ යෙදී සිටින බවත් එම කාලය තුළදී මෙවැනි පොකිරිස්සෙකු තමන්ට හමු නොවු බවයි.