දුර්ලභ සලබයෙක් රත්නපුරේ නිවසකට ඇවිත්


(අජිත්ලාල් ශාන්තඋදය)
 
විශාල ප‍්‍රමාණයෙන් යුතු, දුර්ලභ, ඇට්ලස් මෝත් නම් වර්ගයේ සලබයෙකු රත්නපුර, බටුගෙදර සිය නිවසේ දොරෙහි වසා සිටියදී හමු වූ බව පරිසරවේදියෙකු වන අසිත ඉන්දික වීරවර්ධන මහතා අද(24) පැවසීය.
 
මෙම සලබයා ලංකාවේ වාසය කරන නමුත් සබරගමුවේ දි නිරීක්‍ෂණය වූ මුල් අවස්ථාව මෙය බවද, වියළි නිවර්තන වනාන්තර වාසය භූමිය කරගත් මෙම සලබයින් දකුණු, නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේ සිටින බවද ඒ මහතා කීය. 
 
අසිත ඉන්දික මහතාගේ නිවසේ සිටි සලබයා දිගින් සෙන්ටි මීටර් 22කි. තටුවල උස සෙන්ටිමීටර් 10කි. සලබ දේහය සෙන්ටි මීටර් 1.5කි. ඒ මහතාගේ නිවස ආසන්නයේ අංගම්මන රජයේ රක්‍ෂිතය පිහිටා ඇති බැවින්  එහි සිට පියාඹා පැමිණෙන්නට ඇතැයි අනුමාන කරයි. 
 
මෙම සලබයා දැක බලාගැනීමට රත්නපුර අතිරේක සහ සහකාර දිසාපතිවරුද, රත්නපුර ප‍්‍රදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීහුද, පරිසරවේදීහු, සාමාන්‍ය ජනතාවද විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.
 
මේ සම්බන්‍ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවටඑ දැනුම්දී ඇති අතර, එම සලබයා අංගම්මන රක්‍ෂිතයට මුදාහැරීමට නියමිතව ඇත.