දෙමටපැලැස්ස රක්ෂිතයේ වළකට වැටුණු අලි පැටවා උඩවලට ඇත්අතුරු සෙවණට


(ප්‍රසාද් රුක්මල්)
 
කොස්ලන්ද මහලන්ද දෙමට පැලස්ස වන රක්ෂිතයේ කුඩා වළකට වැටී අතරමං වී සිටි සතියක් පමණ වයස අලි පැටවෙකු ඉන් ගොඩට ගෙන වනජීවි නිලධාරීන්ගේ මාර්ගයෙන් උඩවලව ඇත්අතුරු සෙවනට බාරදුන් බව කොස්ලන්ද පොලිසිය පවසයි.
 
මහලන්ද දෙමටපැලස්ස වන රක්ෂිතයට නුදුරින් කෙසෙල් වගාවක වැඩකරමින් සිටි පිරිසකට වනරක්ෂිතය දෙසින් අලි පැටවෙකු කෑගසන ශබ්දයක් ඇසී ඒ පිළිබඳව සොයා බැලීමේදී කුඩා වළකට වැටී සිටි අලි පැටවා දැක ඇත. වලින් ගොඩට ගෙන, ඔවුන්කසෙල් වගාවේ වාඩියට සුරක්ෂිතව මෙම අලි පැටවා රැගෙනවිත් කොස්ලන්ද පොලිසියට දැන්වූ බව කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නසිරි බණ්ඩාර මහතා කීය.
 
හල්දුම්මුල්ල වනජීවි නිලධාරීන් සමඟ කොස්ලන්ද පොලිසියේ නිලධාරීන් කිලෝමීටර් 3ක පමණ දුර පාගමනින් දෙමටපැලස්ස වන රක්ෂිතයට ගොස් මෙම කුඩා අලි පැටවා තම බාරයට ගෙන තිබේ. පසුව ඒ පිළිබඳව උඩවලව ඇත් අතුරු සෙවනට දැනුම් දී තිබිණි. වෛද්‍ය මාලක අබේවර්ධන මහතා පැමිණ අලි පැටවාට අවශ්‍ය සාත්තු සප්පායම් කර එම අලි පැටවා උඩවලව ඇත්අතුරු සෙවණට රැගෙන ගිය බව පොලිසිය සදහන් කළේය.