දෙහිවල සත්තු වත්ත යළි විවෘත කරයි




    (රොමේෂ් ධනුෂ්ක සිල්වා)
    
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස 03 ක පමණ කාලයක් වසා දමා තැබූ දෙහිවල ජාතික සත්වෝද්‍යානය මහජනතාව වෙත නැවත විවෘත කිරීම අද (15) උදෑසන සිට යළි ඇරඹිණි.

සත්වෝද්‍යානය නැරඹීම සඳහා පැමිණි කුඩා දරුවන් ඇතුළු ඔවුන්ගේ දෙමාපියන් වෙත මල් කළඹක් පිරිනමා ජාතික සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් විසින් සුහදශීලීව පිළිගන්නා ලදී.
   
සියලු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සහ පුද්ගල දුරස්ථභාවය පිළිබද සැලකිලිමත් වෙමින් මහජනයාට උදෑසන 8.30 සිට සවස 05  දක්වා සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව හිමි වන අතර  ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පස්වරු 3.30 ට අවසන් කරන බවත්  කොවිඩ් 19 රෝගය මිනිසාගෙන් සතුන්ට පවා බෝවිය හැකි නිසා හැකි තරම් සතුන්ගෙන් ඈත්ව සිට සතුන් නරඹන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසීය.

පාසල් නිවාඩුව තවදුරටත් ක්‍රියාත්මක නිසා කුඩා දරුදැරියන් රැසක් තම දෙමාපියන් සමග අද උදෑසනම සත්වෝද්‍යානය නැරඹීම සදහා පැමිණි සිටි අයුරු දැකගත හැකි විය.