ධර්මපුරම් හිටපු ස්ථානාධිපතිට විශේෂ ඇගයීමක්


(සිතුම් චතුරංග)

කිලිනොච්චිය ධර්මපුරම් හිටපු පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.එම්.ඩි.එන් චතුරංග මහතා එම පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ සමයේදී ප‍්‍රදේශයේ දෙමළ ජනතාවට ඉටුකළ සේවය ඇගයීමේ විශේෂ උත්සවයක්  කිලිනොච්චියේදී පැවැත්විණි.

ප‍්‍රදේශවාසීන් හා ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතන නිලධාරීන් එක්ව සංවිධානය කළ මෙම උත්සවයට කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත  සිරිවර්ධන සහ සහකාර පොලිස් අධිකාරී කේ.ඒ.ජේ කොඩිතුවක්කු යන මහත්වරු සහභාගීවූහ. 

උප පොලිස් පරීක්ෂක එම්.එම්.ඩි.එන් චතුරංග මහතාගේ සේවය අගය කරමින් ප‍්‍රදේශිය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් අත්සන් කළ විශේෂ සහතික පත‍්‍රයක්ද ඔහුට පිරිනමනු ලැබීය.

රාජ්‍ය නිලධාරීන්ගේ හා ප‍්‍රදේශවාසීන්ගේද විශේෂ ඇගයීමට ලක්වූ කිලිනොච්චියේ පළමු පොලිස් නිලධාරියා උප පොලිස් පරීක්ෂක චතුරංග මහතාය.

ධර්මපුරම් පොලිස් මුරපොළ නව පොලිස් ස්ථානයක් ලෙස පත් කිරීමට උප පොලිස් පරීක්ෂක චතුරංග මහතා කැපවී කටයුතු කළ බවත් ධර්මපුරම් පොලිසිය කිලිනොච්චිය පොලිස් ස්ථාන අතුරින් හොඳම පොලිස් ස්ථානය බවට පත්කිරීම සඳහා ඔහු වෙහෙසී රාජකාරී කළ බවත් කොට්ඨාස භාර පොලිස් අධිකාරී පාලිත ආර්. සිරිවර්ධන මහතා පැවසීය.

වසර දෙකකට ආසන්න කෙටි කාලයක් තුළදී ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිලධාරීන් සමඟ කටයුතු කරමින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් දඩ මුදල් ලෙස රජයට අයකර දී තිබෙන බවද ප‍්‍රදේශයේ ජනතාවට හොද සේවයක් කරමින් ඔහු සියලූදෙනා සමඟ සුහදව කටයුතු කළ බවද සහකාර පොලිස් අධිකාරී කේ.ඒ.ජේ කොඩිතුවක්කු මහතා කීවේය.

මෙවැනි පොලිස් ස්ථානාධිපතිවරයකු තම ප‍්‍රදේශයට අහිමිවීම ඉමහත් පාඩුවක් බව කිලිනොච්චිය ධර්මපුරම් සිවිල් ආරක්ෂක කමිටු සභාපති ඒ. සෙල්වම් මහතා පැවසීය.

ධර්මපුරම් පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂක එම්.එම්.ඩි.එන් චතුරංග මහතා පසුගියදා රාමනාදපුරම් පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස මාරු කරනු ලැබීය.