නව යුද හමුදාපති ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසයි


(රේඛා තරංගනී ෆොන්සේකා)

නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව යුද පෙරමුණේ ක්‍රියාන්විතයේ සිටි රණවිරුවන්ගේ සුවදුක් විමසීමට අත්ඉඩිය මිහිඳු සෙත් මැදුරේ (23) සංචාරයක නිරත විය.

යුදබිමේදී තිබූ සහෝදර සබඳතා සහ සාමූහික වගකීම සිහිපත් කරමින් නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම සංචාරයේ නිරත වූ අතර මෙම අවස්ථාවට යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මියද එතුමන්ගේ දියණියෝ ද එක්ව සිටියහ.

කුරිරු යුද්ධයෙන් ආබාධිතව ප්‍රතිකාර ලබමින් විරෝදාර රණවිරුවන්ගේ 50 කට වැඩිපිරිසක් අත්තිඩිය මිහිඳු සෙත් මැදුරෙහි විවේකීව පසුවෙති.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ජයන්ත සෙනවිරත්න සමඟින් පුනරුත්ථාපන අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ශාන්ත රාජකරුණා මහතා සහ එම මැතිණිය මෙන්ම මිහිඳු සෙත් මැදුරෙහි සේනාවිධායක ලුතිනන් කර්නල් ජීවන් ගුණසේකර මහතා විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව, හමුදාපතිතුමන් ඇතුළු පිරිස සුවතා නිකේතනයේ වාට්ටුවල සංචාරයක නිරත වූ අතර එහිදී, ප්‍රතිකාර ලබන රණවිරුවන් හමුවී ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් හමුදාපතිතුමන් සහ පවුලේ සාමාජිකයෝ ඔවුන්ට ත්‍යාග පාර්සල්ද ප්‍රදානය කළහ.

එම පරිශ්‍රය තුළදී හමුදාපති, මිහිඳු සෙත් මැදුරෙහි සුවය ලබන රණවිරුවන්ගේ නවාතැන්, ඔවුන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සහ මානසික ප්‍රතිකාරයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ අතර අනාගතයේදී සිදුකළ හැකි වැඩිදියුණු කිරීම් පිළිබඳවද විමසා සිටියේය.

මෙම සංචාරය සඳහා ඉඩම් දේපල හා නිවාස අධ්‍යක්ෂක ජෙනරාල්  මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර මහතා සහ යුද උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එච්.ජී.අයි. විද්‍යානන්ද මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.