නවගත්තේගම මිනීමරු අලියා හොරොව්පතානට




(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)

මිනිස් ජීවිත හා දේපළවලට අනතුරු කරමින් නවගත්තේගම මහමැද්දෑව සහ කිරිමැටියාව ඇතුළු ප්‍රදේශවල සැරිසැරූ මිනීමරු වන අලියා නවගත්තේගම කිරිමැටියාව අලුත්වැව ප්‍රදේශයේදී අල්ලා ගැනීමට හැකි වූ බව පුත්තලම වනජීවී කාර්යාලය කියයි.

පසුගිය කාලයේ නවගත්තේගම ප්‍රදේශයේ වන අලි පහරදිමකින් සිදු වූ පුද්ගල මරණ 02ක් හා එම ප්‍රදේශවල නිවාස ඇතුළු දේපල රැසකට හානි කළේ මෙම අලියා බව හඳුනා ගෙන තිබුණි.
මෙම අලියා ඇල්ලීමේ මෙහෙයුම ඉකුත් 01 දින නවගත්තේගම රඹකැන්යාගම ප්‍රදේශයෙන් ආරම්භ කදවුරු බැඳ ආරම්භ කෙරිණි.

වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ප්‍රධාන අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු ‍වෛද්‍ය ඒකකය, නවගත්තේගම සහ කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාල, පුත්තලම අලි පාලන ඒකකය, අනුරාධපුර සහ පොළොන්නරුව වනජීවී කාර්යාල මෙම අලියා ඇල්ලීමේ මෙහෙයුම සදහා එක් වී සිටි බව පුත්තලම වනජීවී කලාප කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කේ.එස්. චන්ද්‍රරත්න මහතා කීය.

අලියා අල්ලා ගැනීමෙන් අනතුරුව එම සතාව හොරොව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානයට රැගෙන ගියේය.