නවීකරණය කළ දුම්රිය මැදිරි නුවර යයි


(රේඛා තරංගනී ෆොන්සේකා)

මැදිරි දෙසීයක් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව සහ තත්ත්‍රි ට්‍රේලර්ස් පුද්ගලික සමාගම එක්ව නිමවු වසර විසිපහක් පැරණි දුම්රිය මැදිරි නවයක් අද (18) මරදාන දුම්රිය පොළෙහි දෙවන වේදිකාවේ සිට නුවර දක්වා පෙර පරික්ෂණ චාරිකාවක් ඇරැඹිය.

මෙම පරික්ෂණ චාරිකාවට දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන ධාවන බල ඉංජිනේරු සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලන්ත ප්‍රනාන්දු මහතා එක්ව සිටි අතර වසරක් දෙකක් ඇතුළත කපා ඉවත් කිරීමට වෙන තරමට අබලන්ව තිබු බව කියන එම අලුත්වැඩියා කළ මැදිරි තව වසර පහළොවක් පමණ ධාවනයේ යෙදවිය හැකි තරමට නවීකරණය කර ඇති බව ඒ මහතා පැවසීය. 

2015 වසරේ යෝජිත අයවැය යොජනාවකට  අනුව දේශිය කර්මාන්තකරුවා නගා සිටුවීම සහ දිරි ගැන්වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙ බවද ඒ මහතා පැවසීය. මැදිරි පන්සියක අවශ්‍යතාව සපුරණු පිණිස මුලික අධියරේ මැදිරි 200 නිමවීමට මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාවට නංවා ඇති බව පවසන නිලන්ත මහතා මසකට මැදිරි පහ බැගින් නිමවීමට සැළසුම් කර ඇති බව පැවසීය.

ඒ අනුව දුම්රිය මැදිරියේ රෝද  තිරිංග පද්ධතිය වැනි මගී ආරක්ෂාව සලසන යාන්ත්‍රික කොටස් දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරු කණ්ඩායම නිමවන අතර මගී ගමන් පහසුව සලසන මැදිරි සුව පහසුවට සලසන මැදිරියේ ඇතුළත කොටස් තන්ත්‍රි ට්‍රේලර්ස් ආයතනය නිමවු බවද දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන ධාවන බල ඉංජිනේරුසහ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලන්ත ප්‍රනාන්දු මහතා  පැවසීය.

විදේශ රටකින් දුම්රිය  මැදිරියක් ආනයනය කිරීමට විශාල මුදලක් වැයවන බව සඳහන් කරන ඒ මහතා අදාළ මැදිරි ප්‍රතිසංස්කරණයට වැය වුයේ එම මුදලින් හතරෙන් එකක් පමණක් බවත් මේ සඳහා සේවකයින් දෙසීයකගේ ශ්‍රම දායකත්වය ලබාගෙන ඇති බවත් පැවසීය.

එමෙන්ම නවීකරණය කළ මෙම මැදිරිවල වැසිකිළි පද්ධතියද ඉතා උසස් තත්වයෙන් නිමවා ඇති අතර සියළු නිමවීම් දුම්රිය දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ දුම්රිය සම්මතයට අනුව නිමවු බවද ඒ මහතා පැවසීය. 

නවීකරණය කළ දුම්රිය මැදිරි දුම්රිය අංක තිස්පහ යටතේ කොළඹ කොටුව නුවර පසු දින නුවර මාතර සහ මාතර සිට කොළඹ දක්වා ‘ධාවනය කිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය.