නාඳුනන පක්ෂියෙක් මුතු පන්තියට


  (හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
වනජීවි නිලධාරීන්ට පවා හඳුනා ගත නොහැකි පක්ෂියකු මුතුපන්තිය දුපතේ පියඹා යාමට නොහැකිව රැදි සිටියදී ගම්වාසින් විසින් ආනවිළුන්දාව වන ජීවි කාර්යාලයේ නිලධාරීන්ට බාර දීමට අද (14) කටයුතු කර තිබුණි.

කිසිදු දිනක මෙරටට පැමිණ නැති දුර්ලභ ගණයේ පක්ෂියෙකු බවට තොරතුරු ඇති මෙම සත්වයා  අනවිළුන්දාව රම්සා අභය භූමියට ආසන්නයෙන් මුතුපන්තිය දූපතට පැමිණ සිටියදී ගම්වාසීන් විසින් අල්ලා ගෙන වන ජීවී නිලධාරීන්ට බාරදීමට කටයුතු කර ඇත.
 
මෙම පක්ෂීයාගේ තටු සැළලිහිණියකුට සමාන බවත් එක් තට්ටක් සෙන්ටිමිටර් 109 ක් දිගින් යුතු බවද වන ජීවි නිලධාරීහු පවසති.
 
ඊයේ (13)   වැනිදා රාත්‍රීයේ මෙම පක්ෂයා මුතුපන්තිය දූපතට පැමිණ ඇති අතර  පසුව ගම්වාසීන් විසින් මෙම පක්ෂියාව හොයා ගෙන ඇති බව කියයි.
 
හොට සහ වළිගය දිය කාවෙකුගේ හැඩය ගන්නා මෙම පක්ෂියාගේ පාද රාජාලියෙකුගේ පාද වලට සමාන බව වන ජීවී නිලධාරීහු කියති.
 
ආනවිළුන්දාව කුරුලු අභය භූමියට විවිධ සංචාරක පක්ෂීන් පැමිණ ඇති නමුත් මෙවැනි පක්ෂියෙකු කිසිදු දිනක දැක නොමැති බව ප්‍රදේශවාසීන් සහ වන ජීවී නිලධාරීහු සදහන් කරති.
 
මෙම පක්ෂියාගේ සිරුරේ සුළු තුවාල කීපයක් දක්නට ඇති බැවින් එම සතාට ප්‍රතිකාර කිරීම සදහා වන ජීවී දෙපාර්තමේන්තුවේ නිකවැරටිය  පශු වෛද්‍ය ඒකකයට බාර දීමට කටයුතු කරන බව වන ජීවී දෙපාර්තමේන්තුවේ ආනවිළුන්දාව අඩවි ආරක්ෂක ආර්.කේ.සෝමචන්ද්‍ර මහතා පැවසීය.