නැගෙනහිර පොලිස් නිලධාරින් ඝාතනයේ 30 වැනි සැමරුම


(අම්පාර වසන්ත චන්ද්‍රපාල)

කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරවලින් 1990 වසරේ ජුලි 11 වැනිදා නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරිහු  600 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වූහ.

එම පොලිස් නිලධාරින් සිහිකිරීමේ 30 වැනි සැමරුම අම්පාර පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට පොලිස් රණවිරු ස්මාරකය අසලදී අද (11) පවත්වනු ලැබීය.

මෙම සැමරුමේ ප්‍රධාන ආරධිතයා ලෙස අම්පාර කොට්ඨාශ භාර වැඩ බලන පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් මහතා සහභාගි විය. පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් මහතා විසින් පළමුව පොලිස් කොඩිය අඩකුඹු කළ අතර පසුව මල්දමක් තබා පොලිස් රණවිරු ස්මාරකයට ආචාර කළේය.

පසුව සහකාර පොලිස් අධිකාරිවරයකු වන ජයරත්න සහ අම්පාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත දඩැල්ලගේ යන මහත්වරු සහ අනෙකුත් පොලිස් නිලධාරිහු මල්දම් තබා ස්මාරකයට උපහාර දැක්වූහ.

කොරෝනා අවදානම හේතුවෙන් නිරොධායන නීතිවලට යටත්ව මෙම සැමරුම පැවැත්විණි.